Thursday, July 16, 2015

සිගරට්

මං ජීවිතේ ඉස්සෙල්ලම සිගරට් බොන එක්කෙනෙකුට  දැක්කෙ අපෙ ගාල්ලෙ මාමව . ගාල්ලෙ මාමා කිව්වට  බුවා ගාල්ලෙ නෙමෙයි . ගම්පහ ඉපදිලා ඉගෙනගෙන රස්සාවට ගාල්ලෙ ගිහිං එහෙම පදිංචි උන හිංදයි එහෙම කිව්වෙ . අපේ අනිත් වැඩිහිටියො ඒ වෙනකොට සිගරට් බීම නවත්තල හිටියෙ . උසට උසේ හිටියට ඇඟේ තිබ්බෙ ඇටයි හමයි විතරයි. කාලෙකට ඉස්සර බයිසිමොටෝ එකෙන් වැටිල කකුල කඩාගෙන ඇවිදින්නෙ අද්ද අද්ද .


පොර සිගරට් බොන විදිහ බලන්ඩ වටින දෙයක් . ඉස්ස්ලෙලම සිගරට් එක අරං පිල්ටරෙං අල්ලල අනිත්  ඇඟිලි වලිං ඒක දිගේ අදිනව ,නිකං ඇද කෙලිං කොරංඩ වගේ. ඊට පස්සෙ ෆිල්ටරෙං වං අතේ මහපොට ඇගිල්ලෙ නිය පොත්තට තට්ටු දෙකතුනක් දානව. ගිනිපෙට්ටිය අරගෙන කටේ තියාගන්නව සිගරට් එක .ගිනිකූර පත්තු කරල උරහිස්ස බොක්ක ගහල අත්දෙකෙන් මුලු මූනම වහගෙන තමා පත්තු කරන්නෙ . ඊට පස්සෙ ඇස්දෙක පියාගෙන අදිනව උඩට . හැබැයි එකපාරට පපුවට ගන්නෙ නෑ . උඩට ඇද්ද ගමං කම්බුල්දෙක පුම්බනව නිකං බැබුං වගේ. චුට්ටක් වෙලා එහෙම ඉදල කට යාන්තමට ඇරල ආයෙත් ඉහලට අදිනව පපුව පිරෙන්ඩම. එතකොටම ඇහිබැම් දෙක නලලට ගිහිං ඇස්ගෙඩි දෙක එලියට පනිනව හරියට යකෙක්ගෙ වගේ. කටෙන් චූටි දුං වලල්ලක් එලියට ඇවිත් ටික ටික ලොකුවෙලා ඈතට ගිහිං නැතිවෙනව. ඉතුරු ටික තමා ලස්සනම.

පොර දුම එලියට
  විදින්නෙ නෑ. ඇස්දෙක බාගෙට පියාන කට බාගෙට ඇරගෙන පිංබිලා තිබ්බ පපුව හිමීට අකුලනව .එලියට එන දුං ටිකත හිමීට මූන දිගේ ඉහලට යනව කැරලි කැරලි ගැහිල. එතකොට පොරගෙ මූන නිකං දේව පිලිමයක් වගේ සාන්ත දාන්ත වෙලා, ඇස්දෙක අනංතයයට ෆෝකස් වෙලා, බලන්ඩ ලස්සනයි. පොර මිදුලෙ ඇවිද ඇවිද තමා බොන්නෙ. පාරක් අදිනවා කකුල අද්ද අද්ද වටයක් යනව .

මමත් ඉස්සෙල්ලම සිගරට් එකක් බිව්වෙ බුවාගෙ ලොකු පුතා එක්ක . සිගරට් එකක් කිව්වට කොටයක් අහුලං මහගෙදර වත්ත පහලට ගිහිං උගුරු දෙක දෙක ඇදල කැහැල කැහැල කුරුඳු කොල අහුරක් කාල ඇවිත් උගුඩුවො වගෙ හිටිය. එතකොට මට එකොලහයි . හැබැයි  ඊට පස්සෙ මට සටන් කලා උන ගැහුව .පත්තර කන්තෝරුවෙ රස්සාවටත් ගිහින් අවුරුද්දක් දෙකක් යනකං සිගරට් බීම නිකං ආනන්තරීය පාපයක් හැටියට තමා සැලකුවෙ. ඒත් ඉතිං කන්තෝරුවෙ පාප මිත්තර රැලට වැටුනට පස්සෙ ඒක ගානක් නැති උනා.එතකොට මට  විසිපහක් විතර ඇති .මට හොඳට මතකයි පලවෙනි උගුර ඇදල කැස්ස කැහිල්ල ….

මුලදි සිගරට් බිව්වෙ අරක්කු බියර් බොනකොට විතරයි.පස්සෙ හෙම්බිරිස්සාව හැදුනම සෙම කර වෙන්ඩ කියල බිව්ව .   ඊට පස්සෙ දවල්ට කාල බිව්ව . ඊට පස්සෙ රෑට කාල බිව්ව . ඊට පස්සෙ තේ බොනකොට බිව්ව . ඊට පස්සෙ නිකනුත් බිව්ව. ඒත් වැඩියම පෙවෙන්නෙ බොනකොට තමා. සිගරට් නැතුව බොන්න එපා කියන තරමට   වැඩේ දරුනු උනා. සටන් කලා හේදිලා ගියා . වැඩේ කියන්නෙ මම සිගරට් බොන්නෙත් අර ගාල්ලෙ මාම බොන විදිහටමයි. පුංචි කාලෙ ඔලුවට වැටිච්ච එක එහෙම්මම හිටල .  

ඔය බොනකොට සිකරට් බොන එක ගැන හොඳ කතාවක් මතක් උනා ඒකත් කියන්නං. දවසක් කන්තොරුවෙ එකෙක්ගෙ මලගෙදරක යන්ඩ අපි කට්ටියක් වෑන් එකක සෙට් උනා . ඕකටම අපේ බොසත් පැනගත්ත නොමිලේම යන්ඩ . අපිත් ඉතිං නිකං ඉන්නෙ නැතුව එන ගමං බොසාට නහයෙන් අඬල බෝතල් දෙකක් කඩා ගත්තා . බයිට් එකට ඇපලුත් හම්බ උනා. ඒත් ඕනම එක නෑ. අපේ දිසා අයියා ඉතිං නිකං හිටියෙ නෑ

 “බොස් සිගරට් ගත්තෙ නැද්ද? “

සිගරට් මොකටද අරක්කු බොන්ඩ , ඔය බයිට් තියෙන්නෙ ඇතිවෙන්ඩ


අනේ බොස් සිගරට් නැතුව බොනව කියන්නෙ නිකං තනේ මිරිකන්නෙ නැතුව බඩුවක් ගහනව වගේ “ මගෙ කටේ තිබ්බ අරක්කු ටික නහය දිගේ මොලේට ගියා . තව ටිකෙන් ඩ්‍රයිවර් මහත්තය වාහනේ කන්ඩියක් දිගේ අරිනව . බොසා ආයෙ බහිනකං වචනයක් කතාකලේ නෑ .

මොනා උනත් මම ප්‍රතිපත්තියක් හැටියට ගෙදර හරි ගමේ හරි  සිගරට් බිව්වෙ නෑ . ඒ හින්දා  ගෙදර උදවියට ඒක ආරංචි උනේ නෑ. සමහර විට දන්නවත් ඇති.

තෝ සිගරට් බොනව නේද?”
කියල
මගෙන් අහල නෑ කවදාවත්

 “තෝ බොනව නේද?''
 කියල නං අහල තියනව


ඒත් ඔය සමහර දාට බොන්න ගිහිං බැරිවෙලා ඉතුරු වෙච්ච සිගරට් එකක් එහෙම සාක්කුවෙ දාගෙන ආපු දවසට ඔය ප්‍ර
තිපත්තිය කැඩෙනව . එතකොට ඉතිං රෑට ගෙයි පිලිකන්නට ගිහිං ශේප් එකේ පත්තු කරං බොනව .

ඒත් මේ ලඟදි දවසක රෑ ඔය වගේම අමතක බැරි වෙච්ච සිගරට් එකක් පත්තු කරං පිලිකන්නෙ ඇවිද ඇවිද ඉන්නකොට එක පාරට කුස්සියෙ ලයිට් එක දාගෙන තාත්ත ආව එලියට
.මට කොරගන්ඩ දෙයක් තිබ්බෙ නෑ. අතේ සිගරට් එක දිලිසි දිලිසි .හොඳටම ශුවර් දැක්ක කියල. තාත්ත තප්පර දෙක තුනක් බලං ඉඳල ආපහු හැරිල ඇතුලට ගිහිං දොර වහල ලයිට් එක නිමුව.

…  තාත්තගෙ මූන එච්චර අසරණ වෙලා තියනව
මම ජීවිතේට දැකල තිබ්බෙ නෑ ….